61 වන නිදහස් දින උළෙල අමතා අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් පවත්වන ලද සම්පූර්ණ කතාව


ජාතිය අප වෙතින් අපේක්ෂා කරනුයේ අලුත් අනාගතයක්!

ජාතිය අප වෙතින් අපේක්ෂා කරනුයේ අලුත් අනාගතයක්! වෙනස් අනාගතයක්! ගෙවුණු ඉතිහාසයේ අප සාමූහික ව අත් විඳි අප‍්‍රසන්න අත්දැකීම් නැවත පුනරූපනය නොවෙන අලුත් අනාගතයක් යැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා 61වන නිදහස් දින උළෙලේ දී ප්‍රකාශ කෙළේය.
අද (04) පෙරවරුවේ කොළඹ ගාලු මුවදොර පිටියේ අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු 61 වැනි ජාතික නිදහස් දින උළෙල අමතමින් සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ යන අපේ ජනතාවට එක හා සමානව ආදරය කරන, ගරු කරන පුරවැසියකු වශයෙන් නැගී සිටින්න! භේදය වපුරපු කාලය අයත් වෙන්නෙ අතීතයට! අනාගතය අයිති සමගිය වපුරන්නවුන්ට! සමාජ අසාධාරණත්වය වපුරපු කාලය අයත් වෙන්නෙ අතීතයට! අනාගතය අයිති සමාජ සාධාරණත්වය ගොඩ නගන්නවුන්ට! බවත් ජනාධිපතිතුමා ප්‍රකාශ කෙළේ ය.

61 වන නිදහස් දින උළෙල අමතා අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් පවත්වන ලද සම්පූර්ණ කතාව

අප අද ජාතික කොඩිය එසවූයේ ශ‍්‍රී ලාංකික අප සැම හදවතින් ප‍්‍රාර්ථනා කළ එක්සේසත් කරනු ලබන මාතෘ භූමිය මත බව මහත් අභිමානයෙන් යුතුව ජාතිය හමුවේ මා ප‍්‍රකාශ කරනවා. මාතෘ භූමියේ නිදහසත්, ස්වාධීනත්වයත් වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වූ එසේම ඒ සටනට ආශිර්වාද කරමින් සිතුවිල්ලකින් හෝ සහාය දුන් මාගේ ආදරණීය රට වැසියෙනි, ජාතියේ නිදහස් සටන දෙස මහත් ආදරයෙන් බලා සිටින සහ උනන්දුවෙන් දේශයේ අනාගතය හිමි ආදරණීය දුවේ, පුතේ,

මීට වසර 61 කට කලින් අපේ උදාර මාතෘ භූමිය බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයේ ග‍්‍රහණයෙන් නිදහස හිමි කර ගනු ලැබුවා. පෘතුගීසි, ලන්දේසි, ඉංග‍්‍රීසි ආදී නොයෙක් යුරෝපා ජාතීන්ට අර්ධ වශයෙන් හෝ පූර්ණ වශයෙන් යටත්ව ගෙවී ගිය වසර 500 ක කාලයකින් පසුවයි 1948 පෙබරවාරි 04 වැනි දා බි‍්‍රතාන්‍යයින් විසින් අපේ ජාතික නිදහස පිළිගනු ලැබුවේ.

ඒ වනවිටත්, 1818 දීත්, 1848 දීත් අපේ ජනතාව විසින් බි‍්‍රතාන්‍ය යටත් විජිත පාලනයට එරෙහිව සටන් කර තිබුණා. වීර මොණරවිල කැප්පෙටිපොල, වීර පුරන්අප්පු ආදී උදාරතර වීරයන් ඒ සටන් වලදීී සිය දිවි පූජා කළා. අපේ නිදහස පිළිබඳ සිතන සෑම මොහොතකම, අපේ මතකයට එන්නේ ඒ ශෙ‍්‍ර්ෂ්ඨයන් මිස අන් කිසිවකුත් නොවෙයි කියලා ඔබ දන්නවා.

නමුත් වැල නොකැඩී සිදුවූ විවිධ විදේශ ආක‍්‍රමණයින්ට අපේ මාතෘ භූමිය යටත් වීම නිසා, අපේ ජාතියේ ආවේනික ඉදිරි ගමනට අභියෝග එල්ල වුණා. අපේ දැනුම, තාක්ෂණය, ශිල්පක‍්‍රම ආදියේ අඛණ්ඩ සංවර්ධනය අතරමගදී ඇන හිටියා. 1948 පෙබරවාරි 04 වැනිදා බි‍්‍රතාන්‍යයින් අපට නිදහස ලබා දීමත් සමග, නැවත අපට ආවේනික අයුරින් ප‍්‍රගතිය සඳහා ගමන් කිරීමේ අවස්ථාව අප හමුවේ නිර්මාණය වුණා. එභෙත්, භේදභින්න කර අපට බාර දී තිබූ සමාජය, එක්සේසත් කර, සමගි කර නිවැරදිව µමභෙයවාලීමට අප හොඳින්ම සමත් වූයේ නෑ. ඒ නිසා, නිදහස ලබා වසර 30 ක් සම්පූර්ණ වනවාත් සමගම වාගේ, අපේ දේශය බෙදා වෙන් කිරීමට වෙර දරන බෙදුම්වාදී, ජාතිවාදී ත‍්‍රස්තවාදී දේශපාලනයක උපත අප හමුවේ සිදු වී තිබුණා.

මිත‍්‍රවරුණි, ගෙවී ගිය සෑම වසරකදීම අප ජාතික නිදහස් දිනය සමරනු ලැබුවා. එභෙත්, නිදහසින් පසු, අප ගෙවා ආ වසර 30 ක් තරම් වූ කාලයක් අප ජීවත් වූයේ නීතිවිරෝධී, සන්නද්ධ, බෙදුම්වාදී ත‍්‍රස්තවාදයක් සමගයි. ඒ නිසා අපට, ගෙවී ගිය ඉතිහාසය පුරා සමරන්න සිදු වුනේ සැබෑ නිදහසක් නොවෙයි.

බෙදුම්වාදී ත‍්‍රස්තවාදයෙන් එල්ල වූ තර්ජනය නිසා තම ගම් බිම් අතහැර පලා යාමට උතුරේ ජීවත් වූ මුස්ලිම් හා සිංහල ජනතාවට සිදු වුණා. ජය ශ‍්‍රී මහා බෝධිය අසල දී බෞද්ධ බැතිමතුන් සමූහ වශයෙන් වෙඩි තබා ඝාතනය කෙරුණා. කාන්තන්කුඩියේ ඉස්ලාම් දේවස්ථානය තුළදී ඉස්ලාම් බැතිමතුන්ව මරා දැමුවා. බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ ලෙස පිළිගනු ලබන, ශ‍්‍රී දළදා වහන්සේ වැඩ සිටින මහනුවර දළදා මාලිගාවට ප‍්‍රහාර එල්ල කළා. අහිංසක මිනිසුන් සමූහ වශයෙන් විවිධ ස්ථානවලදී ඝාතනය කළා.

එපමණක් නොවෙයි, අපේ රටේ ඉතිහාසයේ පළමුවන වතාවට කොටි ත‍්‍රස්තවාදීන් විසින් වාර්ගික ශුද්ධයක නියැලුනා. සිංහල හා මුස්ලිම් ජනතාව ජීවත් නොවන, තමන්ට අවනත නැති දෙමළ ජනතාවද ජීවත් නොවන, නවතම ආකාරයේ ෆැසිස්ට් රාජ්‍යයක් නිර්මාණය කර ගැනීමට ත‍්‍රස්තවාදීන් උත්සාහ කළා. දෙමළ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජන නායකයන් රැසක් ත‍්‍රස්තවාදීන් විසින් මරා දැමුවා. අපේ රටට නායකත්වය ලබා දුන් ජන නායකයින් රැසක් බෙදුම්වාදී ත‍්‍රස්තවාදීන් විසින් ඝාතනය කළා. මුළු රටම භීතියෙන් ඇළලී ගියා.

මිත‍්‍රවරුනි, ලොව බලවත්ම ත‍්‍රස්තවාදී සංවිධානයේ තර්ජනයට අපේ මාතෘභූමිය ගොදුරු වුණා. එම බෙදුම්වාදී ත‍්‍රස්තවාදීන්, තම අරමුණ ඒ කියන්නේ, මේ රට බෙදල දෙමළ ඊළම් රාජ්‍යයක් බිහි කර ගැනීමේ අරමුණ ඉෂ්ට කර ගැනීමේ ආසන්න මොහොත ඔන්න මෙන්න කියා තිබුණා. මාතෘභූමිය දෙකඩ කර, කැබැලි කිරීමත් සමග උදාවන ත‍්‍රස්තවාදයේ විජයග‍්‍රහණය, ''ඊනියා සාමය'' වශයෙන් පිළිගන්නා ලෙසට එදා සිටි පාලකයන් අපට බල කළා. භූමියේ බලය, මුහුදේ බලය හා අහසේ බලය පමණක් නොව මරාගෙන මැරෙන ත‍්‍රස්තවාදීන්ගේ බලය ද සහිත ත‍්‍රස්තවාදී සංවිධානයක් හමුවේ යටත් වීම, සාමය දිනා ගැනීමේ මාර්ගය වශයෙන් පිළිගන්නැයි විවිධ විදේශ බලවේග පවා අපට ඒත්තු ගන්වන්න උත්සාහ දැරුවා.

ඒ සමගම, ඇතැම් අන්තර්ජාතික ආයතන අපේ රට අසමත් රාජ්‍යයක් බවට පත්ව ඇතැයි පෙන්වා දීමට පටන් ගත්තු නිසා ශ‍්‍රී ලංකාවේ උපන් අප සියලු දෙනා, ස්වකීය මාතෘභූමියට උරුම කරමින් තිබෙන මේ අවාසනාවන්ත ඉරණම හමුවේ දැඩි ලෙස වේදනාවට පත් වුණා. ඔවුන් හදවතින් හඬා වැටුනා.

මිත‍්‍රවරුනි, අපගේ උදාරතර මාතෘභූමියට දරා ගත නොහැකි වූ ඒ අවාසනාවන්ත ඉරණමට අවසානයේ දී අප අභියෝග කළා.

එදා 2005 පැවැති ජනාධිපතිවරණයේදී ඔබ මා මේ රටේ නායකත්වයට රැගෙන ආවේ. ඒ අවාසනාවන්ත ඉරණම සමග සටන් වැදීමටයි. ඒ අවාසනාවන්ත ඉරණම පරදවා ජාතියට ජයග‍්‍රහණය ලබාදීමටයි. බෙදුම්වාදී ත‍්‍රස්තවාදයේ ජයග‍්‍රහණය මත නිමැවෙන නිවට සාමය වෙනුවට බෙදුම්වාදී ත‍්‍රස්තවාදයේ පරාජය මත නිමැවෙන ගෞරවාන්විත සාමය මේ රටට රැගෙන ඒමටයි.

කාලය විසින් ඔසවා තැබූ ඒ අභියෝගය ජය ගැනීමේ වගකීම, 2005 ජනාධිපතිවරණයේ දී ඔබ මා වෙත, අපගේ රජය වෙත භාර කළා. ඒ අසීරු, අවදානම්සහගත අභියෝගයට මුහුණ දී කෙසේ හෝ එය ජය ගන්නෙමි යන අධිෂ්ඨානය මත පිහිටා අප එයට මුහුණ දුන්නා.

අසාර්ථකභාවය කියන්නේ. සාර්ථක භාවයේ මාතාව යැයි කියමනක් තිබෙනවා. අතීතයේ පැවැති බොහෝ ආණ්ඩු, බොහෝ නායකයන් බෙදුම්වාදී ත‍්‍රස්තවාදය සමග වන මේ ප‍්‍රශ්නය යුද්ධ මාර්ගයෙන් මෙන්ම සාකච්ඡා මාර්ගයෙන් ද විසඳා ගැනීමට විවිධ උත්සාහ දැරූ බව ඔබ දන්නවා. ඒ සෑම උත්සාහයක්ම පාහේ අසාර්ථක වූ බව රහසක් නොවෙයි. ඒ අසාර්ථකවීම තුළිනුයි සාර්ථකත්වය කරා යා යුතු බව මා තීරණය කලේ. එදා 2005 ජනාධිපතිවරණයේදී ''මහින්ද චින්තන'' ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ මා සඳහන් කර තිබුණේ මෙහෙමයි.

''අතීතයේ මේ ප‍්‍රශ්න විසඳීමට ගනු ලැබූ සියලු පියවරවල හොඳ නරක මැනැවින් විමසා නැවුම් මගක් ගැනීමට මම අදහස් කරමි. එම මාවත තැනීමේදී මා පදනම ලෙස සලකන්නේ නොබෙදුනු රටක්, බහුතර සම්මුතියක් හා ගෞරවනීය සාමයක් යන්නයි.''

කෙසේ වෙතත්, මුළු මහත් ජාතිය දශක ගණනාවක් තිස්සේ භීතියෙන් මුසපත් කළ ඒ බියගුලු ත‍්‍රස්තවාදය වසර 2 1/2 ක් වැනි කෙටි කාලයක් තුළදී සහමුලින්ම පාහේ පරාජයට පත් කිරීමට අපට අද හැකි වී තිබෙනවා. අපේ යුද හමුදාවට, නාවුක හමුදාවට, ගුවන් හමුදාවට, පොලීසියට, පොලීසියෙ විශේෂ කාර්ය බලකායට, සිවිල් ආරක්ෂක බලකායට... මේ සියලු දෙනාම තමන්ට පැවරුනු වගකීම නිසි ලෙස, ඉමහත් කැපවීමෙන් යුතුව ඉටු කිරීම හේතුකොටගෙන, ඒ විශිෂ්ඨ ජයග‍්‍රහණය අද අපේ රටට හිමිකර ගැනීමට හැකි වී තිබෙනවා.

වසර ගණනාවකට පසු, බෙදුම්වාදී ත‍්‍රස්තවාදයේ අඳුරු සෙවනැල්ල බොහෝදුරට තුරන් කර දමන ලද දේශයක ජාතික නිදහස් දිනය සැමරීමට අපේ වීරෝධාර රණවිරුවන් අපට අවස්ථාව හිමි කර දී තිබෙනවා.

මිත‍්‍රවරුනි, ඉතිහාසය පුරාම පාවාදීම් සහ යටත්වීම් තිබෙන බව අපි කවුරුත් දන්නවා. ඒ නිසා අපකීර්තිමත් චරිතත් අප සිහියට නැගෙනවා. ඒ වාගේම වීරත්වය, අභිමානය, ජාති හිනෛෂී බව පිරුණු දුටුගැමුණු, ගජබා, විජයබාහු වැනි රජවරුන් ගැන අද අපි නැවත කතා කරනවා නේද?

අපේ හමුදාව ඒ අතීත වීරත්වයේ ගෞරවය ඉතා ඉහළින් ආරක්ෂා කර අනාගතයට බාර දී තිබෙනවා. ලොව දරුණුම ත‍්‍රස්තවාදී සංවිධානය ලෙස හඳුන්වන ලද එල්.ටී.ටී.ඊ. සංවිධානය රටේ ඒකීයභාවයට හා ස්වෛරීභාවයට කරන ලද තර්ජනය සුනුවිසුණු කිරීම සුළුපටු කාර්යයක් නොවෙයි.

දේශයට ගෞරවාන්විත සාමය උදා කළ හැකි අවස්ථාව නිර්මාණය කර දී තිබෙනවා. මේ විශිෂ්ට, ඓතිහාසික අවස්ථාව සිය මාතෘභූමියට උදා කරදීම වෙනුවෙන් ඔවුන් තම ඇස්, ඉස්, මස්, ලේ පමණක් නොව සිය ජීවිතය පවා මවුබිම වෙනුවෙන් පරිත්‍යාග කළා. අහිංසක දෙමළ ජනතාවට හිරිහැරවීමට ඉඩ නොතබා, ඉතාම පරෙස්සමින් ත‍්‍රස්තවාදයට එරෙහි සටන පෙරට ගෙන යාමට අපේ රණවිරුවන් සමත් වුණා. උදා වෙමින් තිබෙන ගෞරවාන්විත සාමය, වෙනත් කවර රටක ජනතාව භුක්ති විඳින සාමයටත් වඩා අපට අද්විතීය වන්නේ, ඒ විරුවන්ගේ අපරිමිත පරිත්‍යාගයන් වෙතින් මේ සාමය සමන්විතව තිබෙන නිසයි.

මිත‍්‍රවරුනි, මේ ජයග‍්‍රහණ පිටුපස හේතු තිබෙනවා. දුෂ්කර ආර්ථික ප‍්‍රශ්න හමුවේ ජිවත් වෙමින් අපේ සහෝදර ජනතාව, කිසිම භේදයකින් හෝ තොරව මේ ජයග‍්‍රහණ ලබා ගත්තා. අපට සහයෝගය දුන්නා. බෙදුම්වාදී ත‍්‍රස්තවාදයට එරෙහිව නිවැරදි සටනක් දියත් කර තිබෙන බව ඔවුන් නිවැරදිව වටහා ගෙන තිබෙනවා. ඉතිහාසයේ අන් කවරදාටත් වඩා අපේ රටේ අම්මලා, තාත්තලා තමන්ගෙ දරුවන් ආරක්ෂක හමුදාවන්ට, පොලීසියට, සිවිල් ආරක්ෂක බලකායට විශාල වශයෙන් පරිත්‍යාග කලේ නැත්නම් අපට මේ සටන කවදාවත් ජයග‍්‍රහණය කරන්න පුළුවන් වෙන්නෙ නෑ. ඔවුන්ගේ මහා කැපවීම මිත‍්‍රවරුණි කිසිසේත් අපතේ ගියේ නෑ. ජාතික කොඩිය අද මුලු රට පුරා එක හා සමානව ලෙල දෙන්නේ, ඒ මහා කැපවීමේ ප‍්‍රතිඑල ලෙසයි.

අපේ හමුදාව මේ ජයග‍්‍රහණ ලබා දුන්නේ තමන්ගෙම ඥානයෙන් කිසිම විදේශික විශේෂඥ සහායක් අපේ හමුදාව ලබා ගත්තේ නෑ. ඒවගේම අපේ හමුදා තුළ යම් විශේෂත්වයක් තිබුණා.

ඒ තමයි ඔවුන් අපට බෑ කියලා කොයි වෙලාවකවත් කිව්වේ නෑ. ''රට වෙනුවෙන් අපි මේ වැඩේ කොහොම හරි කරන්න ඕනෑ'' කියල විතරයි ඒ හැම කෙනෙක්ම කල්පනා කලේ. මේ ජයග‍්‍රහණ රටට ලැබුනෙ එභෙම හිතල වැඩ කරන්න තරම් ධෛර්යයක් අපට තිබුණ නිසයි. අමතක කරන්න එපා! මෑත ඉතිහාසයේ ලෝකෙ බොහෝ රටවල ක‍්‍රියාත්මක වූ බෙදුම්වාදී ත‍්‍රස්තවාදී සංවිධාන හැම තැනකදීම වගේ ජයග‍්‍රහණ ලබා ගත්තා. ඒත්, ලංකාවෙදි ත‍්‍රස්තවාදය පරද්දල බෙදුම්වාදයත් පරදන්න, රටේ ඒකීයභාවය රැකගන්න අපට පුලුවන් වෙලා තියෙනවා.

ලෝකයේ මොන තරම් රටවල් ප‍්‍රමාණයක් තිබුණත්, කෙනෙකුට තමන් උපන් දේශය තරම් ආරක්ෂිත ස්ථානයක් තවත් ඇත්තේ නෑ. විසි වසරකට වඩා වැඩි මේ අවාසනාවන්ත ගැටුම නිසා මවුබිම අතහැර විදේශගත වූ ශ‍්‍රී ලාංකිකයන්ට තමා උපන් දේශයට, තමා ජිවත් වූ ගම්මානයට පැමිණෙන්න දැන් අවස්ථාව උදා වී තිබෙනවා. මේ අවස්ථාවේදී මම මුලුමහත් ජාතිය වෙනුවෙන්. යුද්ධය නිසා රට අතහැර ගිය ශ‍්‍රී ලාංකික සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ ඇතුළුව අනෙකුත් සියලු ජන කොටස්වල රටවැසියනට උපන් දේශයට යළි පැමිණෙන මෙන් විවෘතව ආරාධනා කරනවා.

මිත‍්‍රවරුනි, ඇතැමුන්, පරාජය කළ නොහැකි යැයි පුනපුනා කියපු බෙදුම්වාදී ත‍්‍රස්තවාදය තව නොබෝ දිනකින් සහමුලින්ම පරාජයට පත් කරන බව මට හොඳටම විශ්වාසයි. නමුත් එපමණකින්, අප හමුවේ වූ අභියෝග සියල්ල නිමා වී ඇතැයි අප කල්පනා නොකළ යුතුයි.

නිදහසින් පසු ශ‍්‍රී ලංකාව සමහර ක්ෂේත‍්‍ර වෙතින් යහපත් ප‍්‍රතිඑල හිමි කරගෙන තිබෙනවා. ළමා සෞඛ්‍යය හා අධ්‍යාපනය අතින් අපි සතුටුදායක තතත්වයක් හිමිකරගෙන තිබෙනවා. අපේ දරුවන්ගෙන් සියයට 97 ක් ම අධ්‍යාපනය ලැබීමට පාසැලට ඇතුල් වෙනවා. ලෝකෙ බොහෝ රටවල් නිදහස් සෞඛ්‍ය සේවය, නිදහස් අධ්‍යාපනය ජනතාවට අහිමි කර තිබියදීත්, අපි ඒ සමාජ වගකීම වෙනුවෙන් ඇප කැපවුණු රාජ්‍යයක් බිහි කර තිබෙනවා.

එහෙත්, සතුටු වීමට මෙබඳු කරුණු තිබුණත්, අප විසින් ජයග‍්‍රහණය කළයුතු අභියෝග රැසක් ද ඉතිරිව පවතිනවා.

පාසැලට ඇතුළුවන දරුවන්ට මීට වඩා ඵලදායී, ජාතියේ ඉදිරි ගමනට ගැලපෙන අධ්‍යාපනයක් අපි ලබා දෙන්න ඕනෑ. දුප්පත්කම හිස ඔසවන්නේ කොතැනද, එතැනදීම අප එය පරාජයට පත් කරන්න ඕනා. ආකල්ප අතින් වෙනස් වූ රාජ්‍ය සේවයක් නැවත අපි බිහි කරන්න ඕනෑ. රාජ්‍ය සේවය තමන්ගේ ස්වාමියා මහ ජනතාව යයි සලකන තැනට පත් කරන්නට ඕනෑ. දූෂණයට නාස්තියට ඉඩ නොදෙන යහපාලනය සහිත, සෞභාග්‍යමත්, සමෘද්ධිමත් දේශයක් බිහි කිරීමේ සැබෑ අභියෝගය අප සියලු දෙනා ඉදිරිපිටම පවතිනව.

මිත‍්‍රවරුනි, දැන් අපි, අප ඉදිරිපිට නැගී සිටි බලවත් සතුරකු පරාජයට පත් කරන ලද ජාතියක්. එපරිද්දෙන්ම, අප හමුවේ නැගී සිට ඇති අන් සියලු අභ්‍යන්තර සතුරන් පරාජයට පත් කරන්න අපට දැන් හැකියාව තිබිය යුතුයි. ඒ අළුත් අභියෝග සඳහා අවශ්‍ය පරිදි වෙනස් වෙන්න අප සැමට හැකි විය යුතුයි. යහපත් දෙය වන්නේ, ජාතියක් වශයෙන් එකමුතුව, සමගිව, අරමුණු සහගතව සමාජ, ආර්ථික, සංස්කෘතික හා දේශපාලනික වශයෙන් නැගී සිටීමට අලුත් අවස්ථාවක් අප හමුවේ උදා කරනු ලැබ තිබිමයි.

අද අපේ ජාතික කොඩියට අලුත් ශක්තියක් හිමිව තිබෙනවා. ජාතික ගීයට අලුත් බලයක් හිමිව තිබෙනවා. රණවිරුවන් අතේ උතුරට රැගෙන ගිය ජාතික කොඩිය අද උතුරේ ජනතාවගේ අතේ ලෙලදෙනවා. මුලුමහත් ජනතාව ජාතික කොඩිය සෙවනේ ඒකරාශ්‍රී වී සිය දේශයේ ඊ ළඟ අභියෝග සමග සටන් වැදීමට සූදානම් වූ මනසකින් යුතුව අද ජිවත් වෙනවා. ඔවුන් ඉතිහාසයේ අන් කවරදාටත් වඩා වැඩියෙන් සිය දේශයට ආදරය කරනවා.

මිත‍්‍රවරුනි, යටත් විජිත සමයෙන් මිදී වසර 61 කට පසුව, ජාතිය නැවත අභිමානවත්ව ඔසවා තැබීමට ඉතිහාසය අපට ලබා දී තිබෙන මේ අලුත් අවස්ථාව අපතේ නොයවා, නිවැරදිව ග‍්‍රහණය කර ගැනීමට දැන් අප සියලු දෙනාම සූදානම් විය යුතුයි.

ජාතිය අප වෙතින් අපේක්ෂා කරනුයේ අලුත් අනාගතයක්! වෙනස් අනාගතයක්! ගෙවුණු ඉතිහාසයේ අප සාමූහිකව අත් විඳි අප‍්‍රසන්න අත්දැකීම් නැවත පුනරූපනය නොවෙන අලුත් අනාගතයක්. අපට ''බෑ'', අපට ''නෑ'' කියල හිතන එක දැන් ඉතින් නතර කල යුතුයි. පරගැතිබවේ නටබුන් හරි ඉතිරිව තිබෙනව නම් ඒවා අපේ මනසින් ඉවත් කළ යුතුයි. අදීන, පෞඩ, අභිමානවත් ඉතිහාසයකට හිමිකම් කියන මිනිසුන් වශයෙන් අප අනාගතය දෙස අවධානය යොමු කළ යුතුයි. පරගැතිකම, දීනත්වය, ඔප්පු කර පෙන්වන්න මහන්සි වෙන්න එපා! ස්වාධීනකම, අදීනත්වය ඔප්පු කර පෙන්වන්න මහන්සි වෙන්න! සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ යන අපේ ජනතාවට එක හා සමානව ආදරය කරන, ගරු කරන පුරවැසියකු වශයෙන් නැගී සිටින්න! භේදය වපුරපු කාලය අයත් වෙන්නෙ අතීතයට! අනාගතය අයිති සමගිය වපුරන්නවුන්ට!

සමාජ අසාධාරණත්වය වපුරපු කාලය අයත් වෙන්නෙ අතීතයට! අනාගතය අයිති සමාජ සාධාරණත්වය ගොඩ නගන්නවුන්ට!

පරාජය කළ නොහැකි යැයි බොහෝ දෙනෙකු අපට උගැන් වූ බෙදුම්වාදී ත‍්‍රස්තවාදය පරාජයට පත් කිරීමට සමත් වූ අපට, ඒ වෙනස් මවුබිම, වෙනස් අනාගතය බිහිකිරීම අසීරු වන්නේ කෙසේද? කොතරම් අසීරු වුවත්, ඒ සඳහා කැපවීම මගින් හැර, ශ‍්‍රී ලාංකික ජනතාවට සාධාරණය ඉෂ්ඨ කිරීමට වෙන අන් මගක් අප සතුව ඇත්තේ නෑ.

අපේ ජනතාවගේ ජිව ශක්තිය හා පෞඩත්වය ගැන අන් සියලු දේට වඩා මට විශ්වාසයි. අපේ රණවිරුවන් මගේ ඒ විශ්වාසය නිවැරදි බව සනාථ කර තිබෙනවා. දේශය ගොඩනැංවීමේ ජාතික පුනරුද යුගයකට අප අපේ දේශය රැගෙන යන්නේ, ඒ සඳහා කැපවෙන්නේ ඒ විශ්වාසය අප සතුව පවතින නිසයි.

මිත‍්‍රවරුණි, දැන් අප ඉදිරිපිට පවතින්නේ අපේක්ෂාවන්ගේ ශත වර්ෂයක්. යුගය විසින් ඉල්ලා සිටින අපේක්ෂාවන් සඑල කරන ලද්දවුන් ලෙස ඉතිහාසයේ වේදිකාවෙන් නික්ම යාමට හැකිනම්, ඒ තරම් සතුටක් තවත් තිබිය හැකිද? අප ඒ සතුට හඹා යා යුතුයි. !

ඒ ගමනේදී කිව යුතු දේ කියන්න අප පැකිලෙන්නේ කුමකටද? කළ යුතු දේ කරන්න අප පැකිලෙන්නේ කුමකටද? මිත‍්‍රවරුණි, අපේ නගරවල දිස්වෙන දැවැන්ත දැන්වීම් පුවරු වලින් අපේ සංවර්ධනයේ ප‍්‍රමාණය පිළිබිඹු වෙනව කියල මම විශ්වාස කරන්නේ නෑ. අපේ ජනතාවගෙ මුහුණු, අපේ දරුවන්ගෙ මුහුණු සතුටින් බැබලෙන ප‍්‍රමාණයට අප ලබා ඇති දියුණුවේ ප‍්‍රමාණය මැන ගැනීමට හැකි යැයි මම විශ්වාස කරනවා. ඒ සඳහා අපට වෙභෙස වී වැඩ කිරීමට සිදුව තිබෙනවා.

බෙදුම්වාදී ත‍්‍රස්තවාදය පැරදවීමේ සටනේදී අපි ගත්තෙ ලොකුම අවදානම! ජිවිත අවදානම! අපේ ආරක්ෂක ලේකම්තුමා, යුද හමුදාපතිතුමා මරාගෙන මැරෙන ත‍්‍රස්ත ප‍්‍රහාරවලට මුහුණ දීලත් ඒ අවදානමට බියේ තම වගකීම අත් හැරියද? සෙසු හමුදාපතිවරුන් ඒ තත්ත්වය හමුවේ බියට පත් වුනාද? අපේ ජ්‍යෙෂ්ඨතම ඇමතිවරු දෙදෙනකුගේ ජීවිත මේ කාලය තුළදී ත‍්‍රස්තවාදීන් බිලි ගත්තා. ඒත් අපි... ඒ ජිවිත අවදානමට මුහුණ දෙන්න ධෛර්යය නැතිවුන් බවට පත් වුනාද? අපේ රණවිරුවන් තම සහෝදර රණවිරුවන් සතුරු ප‍්‍රහාරයට ලක්ව මියැදෙන විට, ජීවිත අවදානමට බියෙන් මේ සටන අතහැරිය ද? එභෙම, අවදානමට මුහුණ දෙන්න ශක්තියක් අපට නොතිබුණා නම් මේ රට ආරක්ෂා කර ගන්න අපට පුළුවන් වේවිද? ඒ වගේම තමයි, රට අලුතෙන් ගොඩනැංවීමේ සටනෙදිත් ඕනෑම අවදානමකට මුහුණ දෙන්න බලාගෙන අවශ්‍ය තීරණ අරන් ඉදිරියට යන්න සූදානම් බව මා මේ අවස්ථාවේදී කිව යුතුයි.

දූෂණයට, නාස්තියට එරෙහිව, යහපාලනය මේ රටේ ස්ථාපිත කිරීමේ සටනට අපි අවතීර්ණ වෙන්නේ ඒ අනුවයි.

කාලය විසින් මතු කරන අභියෝගයන්ට සරිලන පරිදි වෙනස් වීමට අපට හැකි විය යුතුයි. එසේ විය නොහැකි නම්, අපට වේදිකාවෙන් බැස යා හැකියි.

මිත‍්‍රවරුනි, ලෝක බැංකුවේ හිටපු සභාපතිවරයකු වූ ජෙම්ස් වුල්ෆන්සන් මහතා 1998 ජූලි 05 වැනිදා මෙසේ ප‍්‍රකාශ කළා.

''යම් තැනෙක සමාජමය හා ආර්ථික බලාපොරොත්තු සුන් වී ගොස් ඇත්නම් එතැන සාමය සඳහා ඇත්තේ පුංචි ඉඩක්. ඒ වගේම එහි ස්ථාවරභාවයට ඇත්තේ පුංචි ඉඩක්.''

මම ද මේ කාරණය තදින් විශ්වාස කරනවා. දැන් අපි ත‍්‍රස්තවාදයෙන් මිනිසුන් මිය නොයන රටක් බිහි කරමින් තිබෙනවා. ඒ වගේම, මෙතැනින් ඉදිරියට අපි සමාජමය හා ආර්ථික බලාපොරොත්තු සුන් නොවූ ජනතාවක් ජීවත්වන රටක් බවට අපේ රට පරිවර්තනය කළ යුතුයි. එසේ නොවුනහොත් සාමයට හා ස්ථාවරභාවයට පැවතීමට ඇත්තේ පුංචි ඉඩක් බව අප වටහා ගත යුතුයි.

යුද්ධයෙන් දිනා ගත් දේ ආපසු යුද්ධයෙන්ම උදුරා ගත හැකි වන්නේ, යුද්ධයෙන් දිනාගත් දේ නගුලෙන් තහවුරු කිරීමට අප අසමත් වුවහොත් පමණයි. ඒ නිසා දැන් අපි මවන සමාජ, ආර්ථික, සංස්කෘතික හා දේශපාලන සංවර්ධන මෙහෙයුමකට අපගේ දේශය මෙභෙයවීමට සූදානම් විය යුතුයි.

පරමාධිපත්‍යය බලය ඇත්තේ ජනතාව සතුව බව ඔවුන්ටම වැටභෙන තත්ත්වය උදා කිරීම අපගේ වගකිමයි. සියල්ල සිදුවන්නේ ඔවුන්ට අවශ්‍ය පරිදි බව විශ්වාස කරන්නට ඔවුන්ට නොහැකි නම් ඒ පරමාධිපත්‍යය බලයේ අගය අඩු වෙනව. මේ රටේ කෘෂි බිම්, ස්වභාවික හා පාරිසරික සම්පත් , සාගර හා ධීවර සම්පත් ආදී සියල්ලෙහි හිමිකරුවා තමන් බව ඔවුනට සජීවීව දැනෙන දිනය උදා නොකර, රටට ලබා දිය හැකි වෙනස කුමක්ද?

ජීවත් වීමට ඉඩමක්, නිවසක්, දරුවන්ට හොඳ අධ්‍යාපනයක්, රැකියා ආදිය සහිත ජීවන තත්ත්වයක් දුප්පතුන්ට හිමි කරදීම මගින් මිස පරමාධිපත්‍ය බලය තහවුරු වෙන අන් මාර්ගය කුමක්ද? තම ජිවිතය වෙනස් නොකරන, අලුත් නොකරන බලයකින් ඔවුනට වැඩක් තියෙනවද?

රටවැසියන්ගෙ පරමාධිපත්‍ය බලය සුරක්ෂිත කරනවයි කියන්නේ සමාජ සුරක්ෂිතභාවය වැඩිවෙනව කියන එකටයි. සාමයට ඇති ඉඩ වැඩිවෙනව කියන එකටයි. ස්ථාවරභාවයට ඇති ඉඩ පුළුල් වෙනව කියන එකටයි.

අපි ඒ මගින් දිනාගත් සාමය රැක ගත යුතුයි. දිනාගත් ස්ථාවරභාවය ආරක්ෂා කර ගත යුතුයි. අපට එය කළ හැකි බව මට හොඳටම විශ්වාසයි.

මිත‍්‍රවරුනි, මේ අභිමානවත් දිනයේදී, අවසාන වශයෙන් ඔබ වෙත විශේෂ කරුණක් කීමට මට අවසර දෙන්න. !

අප ලද අත්දැකීම් ඔස්සේ අප උපදවා ගත් දැනුම මත පදනම්ව මේ රට අනාගත ජයග‍්‍රහණ කරා රැගෙන යාමට අපට හැකිය යන විශ්වාසය මත දෙපා තබා සිට ගන්නා මෙන් මා ඔබ සැම වෙතින් ඉල්ලා සිටිනවා.

උද්යෝගයෙන් පිරුණු නමුත්, සන්සුන් චිත්ත තත්ත්වයක් සහිත, ඉක්මන් නමුත් පිළිවෙලක් ඇති මිනිසුන් ලෙස අපි අපේ රට ඔසවා තැබීමට සූදානම් වෙමු. අභියෝගවලට බය නොවෙමු. අපේක්ෂාවන් හඹා යාමට ධෛර්යය සම්පන්න වෙමු.

එලෙසින්ම, බෙදුම්වාදී ත‍්‍රස්තවාදයේ ග‍්‍රහණයට ලක්ව වසර ගණනාවක් තිස්සේ දුක් විඳි උතුරේ හා නැගෙනහිර ජනතාවට, නැවත ජිවිතය දෙසට, සතුට හා නිදහස දෙසට පා නැගීමට මුළුමහත් ජාතියේ සහයෝගය ඔවුන් වෙත ලබා දෙමු. වචනයෙන් මෙන්ම ක‍්‍රියාවෙන් ඔබේ දයාව, මිත‍්‍රත්වය, සෞභාග්‍යය හා සශ‍්‍රීකත්වය ඔවුන් වෙත පිරිනැමීමට ඉදිරියට පැමිණෙමු.

61 වැනි ජාතික නිදහස් දිනය අපට අභිමානය, ගෞරවය පිරි නිදහස සපුරා උදාකර ගැනීමේ අවස්ථාව ලබා දී තිබෙනවා. ශ‍්‍රී ලංකාව.... ඔදවත්, තෙදවත්, බලවත්, ගුණවත්, නැණවත් දේශයක් ලෙසින් ඔසවා තැබීමේ සංග‍්‍රාමයට දැන් සියල්ල සූදානම්ව තිබෙනව. අපි සමගිව, දෑ හිතකාමීත්වයෙන් පණ පෙවුණු ශ‍්‍රී ලාංකිකයන් වශයෙන් ඒ සංග‍්‍රාමය ද අප‍්‍රමාදව සාර්ථකව නිමා කරමු. ඒ මගින් සැබෑ නිදහස ජාතියට උරුම කරදීම උදෙසා ඇප කැප වෙමු.

මිත‍්‍රවරුනි, මාතෘ භූමියත්, වැදූ මවත් ස්වර්ගය හැටියට සළකයි කියන සුභාෂිතයට අප ගරු කරනවා. මාගේ මාතෘ භූමිය එක්සේසත් වෙන මේ මොහොතේ ජාති වර්ග පක්ෂ භේද නොසලකා අප හා එක්වන්නැයි මා සියලු පක්ෂ වලට ආරාධනා කරන්නේ මෘතෘ භූමියට යුතුකම් ඉටු කිරීමට කාටත් අවස්ථාව සලසා දෙන්නයි. අප කවුරුත් එකම මවකගේ දරුවන් වීම තරම් පී‍්‍රතිය ගෙන දෙන දෙයක් ලංකා මාතාවට තවත් කොයින්ද? ඒ ප‍්‍රීතිය මාගේ මාතෘ භූමියට ඔබගේ මවට ලබා දීමට අප හා එක්වෙන ලෙස මා ඔබට ආයාචනා කර සිටිනවා.

කිසිදු භේදකාරී සිතුවිලි වෙතින් තොරව, අපේ දේශයේ සිවු දෙස විසිරී සතුටින් ජීවත්වෙන සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් හා මැලේ යන සියලු ජාතීන්ට අයත් ලක්මවගේ දූ දරුවන් දෙස බලන්න! ඔවුන් අප දෙස බලාපොරොත්තු සහගතව බලා සිටිනවා. ඔවුන් අපව විමසනවා. ඔවුන්ගේ අනාගතය අපගෙන් ඉල්ලා සිටිනවා. රටේ අනාගතය ඔවුන්. ඔවුන් වෙනුවෙන් අපේ දේශය නව මගකට රැගෙන යාමට ඔබට සැමට ශක්තිය හා ධෛර්යය ලැබේවා.

ඔබ සැමට තුනුරුවන්ගේ සරණයි!

Comments

Popular posts from this blog

Wrong Turn 3 Left for Dead 2009 STV DVDRip XviD-GFW

The Taking Of Pelham 123 DVDRip XviD-ARROW