මේ අවසාන දින කීපයයි...




අද මේ රටේ පමණක් නොවේ සමස්ථ ලෝකයේම බොහෝ දෙනකුගේ අවධානය යොමුවී ඇති මාතෘකාවක් බවට පත්වී තිබෙන්නේ එල්. ටී. ටී. ඊ සංවිධානයේ නායක වේලුපිල්ලේ ප‍්‍රභාකරන්ට සිදුවී තිබෙන්නේ කුමක්ද යන්නයි.
ඔහු ජීවතුන් අතර සිටීද? නැතහොත් මේ වන විට මියගොස් ද? ඔහු මෙරටින් පලා ගොස් සිටීද? එසේත් නැතිනම් ඔහු සියදිවි හානි කර ගැනීමේ බලාපොරොත්තුවෙන් කොතනක හෝ සැඟවී සිටීද ආදී වශයෙන් වූ ගැටලු රාශියක් සමාජයේ පැන නැගී ඇත.

මොහුට සිදුවී ඇති දේ ගැන දැනගැනීමට සමාජයේ කැමැත්තක්, ආසාවක් තිබෙන බව ඇත්තවශයෙන්ම කිවයුතුය.
ප‍්‍රභාකරන් ලෝකයේ සිටින ගරිල්ලා කණ්ඩායම් අතරින් අංක එකේ ගරිල්ලා නායකයෙක් බවට පත්වී තිබේ.
ඔහු එසේ ප‍්‍රසිද්ධියට පත්වූයේ ගරිල්ලා නායකයකු අතින් සිදු නොවන තරම් අතිවිශාල, බිහිසුණු මිලේච්ඡ අපරාධ සිය දහස් සංඛ්‍යාවක් සිදුකර ඇති බැවිනි.

ඔහු ඒ සියලුම අපරාධ සැලසුම් සකස් කෙළේ කි‍්‍රයාත්මක කෙළේ මේ පුංචි රට ශී‍්‍ර ලංකාවේ සිටය. ලෝකයේ කිසිම රටක හමුදාවකට මුහුණපෑමට සිදු නොවූ තරම් අත්දැකීම් සම්භාරයක් ලබාගනිමින් කොටි සංවිධානය සමඟ සටන් කිරීමට ශී‍්‍ර ලංකා හමුදාවට සිදුවිය.

එසේ සිදු වූයේ කොටි සංවිධානය යුදමය වශයෙන් ඉහළම තත්ත්වයකින් සන්නද්ධ වී සිටි නිසාය. අවි ආයුධ නැව් පිටින් ගෙන්වා ගෙන රටක හමුදාවක් සමඟ මේ ආකාරයෙන් යුද වැදුණු තවත් ගරිල්ලා සංවිධානයක් මේ ලොව නැති තරම්ය.

වේලුපිල්ලේ ප‍්‍රභාකරන් උපත ලැබූයේ 1954 නොවැම්බර් 26 වැනිදා වැල්වැටිතුරේදීය. ඔහු අධ්‍යාපනය හැදෑරුවේ පහ වසර පන්තියට පමණි. ඔහු විවාහවූයේ යාපනයේ පුංගුඩුතිව් පදිංචිකාරියකවූ මදිවාදිනි සමඟය.
පස්වෙනි පන්තිය දක්වා ඉගනීම කොට පාසල් හැරගිය ප‍්‍රභාකරන් එතැන් සිට තරුණයකු වූ පසු මුළු කාලයම යොමුකෙළේ විවිධ රටවල විප්ලවීය දේශපාලනය හැදෑරීමටය. සම වයසේ යෞවනයන් ආදර හසුන් කියවනවිට ප‍්‍රභාකරන් තමා දන්නා තරමින් තුවක්කු උණ්ඩ ගැන ලියා ඇති පතපොත කියෙව්වේය.

ළඟම හිතවතුන්

ඒ අතර යාපනයේ දෙමළ කුලවාදීන් අතර තිබූ ප‍්‍රබල බැම්මෙන් ප‍්‍රභාකරන්ට හිමිවී තිබුණේ පහළ මට්ටමක තැනකි. මේ නිසා ප‍්‍රභාකරන් බොහෝ විට තම යහළුවන් ලෙස තබාගත්තේ වැල්වැටිතුරේ සහ පේදුරුතුඩුවේ. ධීවර ගම්මානවල තරුණ පිරිස්ය. යාපනයේ කුලවාදීන් ඔහු විසින් එතරම් ගණන් ගත්තේ නැහැ.
ඔහු විසින් ගොඩනගාගත් කොටි සංවිධානයේ ඔහුගේ ළඟම හිතවතුන් වූයේ උමා මහේෂ්වරන් කිට්ටු සහ මහේන්ද්‍රරාජා නොහොත් මහත්තයාය. 70 දශකය මැදභාගය වනවිට ප‍්‍රභාකරන් ඔහුගේ මිතුරන් සමඟ එක්ව සංවිධාන කටයුතු ගොඩනගා ගෙන සිටියහ.

ඔවුන් ක‍්‍රමයෙන් වැල්වැටිතුරෙන් කිලිනොච්චිය, මුලතිව් ප‍්‍රදේශවලටද තම සංවිධාන කටයුතු ව්‍යාප්ත කරමින් සිටියභ. මුලදී ඔවුන් එල්. ටී. ටී. ඊ. කොටි සංවිධානය ලෙස ගොඩනඟා ගත්තේ නැහැ.

ඔවුන් උතුරේ දෙමළ තරුණ එකමුතුව නමින් සංවිධානය ලෙස නම්කර තිබුණි. එම සංවිධානය පමණක් නොව, ප්ලොට්, ඊරෝස් ආදී වශයෙන් විවිධ සංවිධාන ගණනාවක් තරුණ කණ්ඩායම් විසින් ඇතිකරගෙන තිබුණි.
එම කාලයේදී මෙරට යම්යෙහකින් ප‍්‍රශ්නයක් ඇතිවූ විට එම තරුණ ද්‍රවිඩ සංවිධානවල නායකයන් ආරක්‍ෂාව පතා පලාගියේ තමිල්නාඩුවටය. දෙමළ සටන්කාමීන්ට තමිල්නාඩුවෙන් මනා රැකවරණයක් හිමිවී තිබුණි.

තමිල්නාඩු රැකවරණ

පෝක් සමුද්‍රසන්ධිය දෙමළ ජනතාවට නිදහසේ එහා මෙහා ගමන් කළහැකි නිදහස් කලාපයක් බවට පත්වීම දෙමළ සටන්කාමීත්වයේ වර්ධනයට විශාල පිටිවහලක්.

ඒ කාලයේදී තමිල්නාඩුවට පලාගොස් සිටි ප‍්‍රභාකරන් ඇතුළු තරුණ සටන්කාමීන්ද නැවත මෙරටට පැමිණියහ. ඒ වන විට උමා මහේෂ්වරන් ඇතුළු ඔහු විසින් පිහිටුවාගෙන තිබූ ප්ලොට් සංවිධානය කැපී පෙනෙන තරුණ සටන්කාමී සංවිධානයක් බවට පත්වී තිබුණි. ප‍්‍රභාකරන්ද ඔවුන් සමඟ මෙරටට යළි පැමිණියේය.

ලංකාවට පැමිණි උමා මහේෂ්වරන් වවුනියාව මුල්කරගෙන ප්ලොට් සංවිධානයේ කටයුතු කි‍්‍රයාත්මක කරන්නට විය. ඒ වන විට ඉතාම ප‍්‍රබල දෙමළ සටන්කාමී සංවිධානය බවට පත්වී තිබූ ප්ලොට් සංවිධානය දකුණු ඉන්දියාවේද සහාය ඇතිව සිංහල දෙමළ සහ ඉංගී‍්‍රසි මාධ්‍යයෙන් ගුවන්විදුලි වැඩසටහන් පවා විකාශය කිරීමට පියවර ගෙන තිබුණි.

උමා මහේෂ්වරන්ගේ නැගීම නොඉවසූ ප‍්‍රධාන පුද්ගලයා බවට පත්ව සිටියේ ප‍්‍රභාකරන්ය. අවස්ථාවක් ලැබුණොත් උමා මහේෂ්වරන්ගෙන් පළිගැනීමටත්, ප්ලොට් සංවිධානය විනාශ කර දැමීමටත් ප‍්‍රභාකරන්ගේ අරමුණ විය.
පසුව 1980 වසරේදී ප‍්‍රභාකරන් කුට්ටිමනී, තංගදොරේ සහ ඔවුන් විසින් පිහිටුවාගෙන තිබූ ටෙලෝ සංවිධානයද සමඟ මෙරටට පැමිණියේය.

කුට්ටිමනී සහ තංගදොරේ ප‍්‍රභාකරන් ටෙලෝ සංවිධානයේ රඳවාගැනීමට උත්සාහ කළත් ප‍්‍රභාකරන් උත්සාහ කෙළේ, අපේක්‍ෂාව වූයේ අවස්ථාව ලද විගස ඉන් ඉවත්වී තමා විසින් ගොඩනගාගෙන තිබූ උතුරේ ද්‍රවිඩ තරුණ එකමුතුව විමුක්ති කොටි සංවිධානය ලෙස ගොඩනගාගැනීමය.

ප‍්‍රභාකරන්ගේ යටි සිතේ පැවැතියේ තම කොටි සංවිධානය පමණක් ඉතිරි කර ඉතිරි ඒවා විනාශ කර දැමීමය. එහෙත් ටෙලෝ සහ ප්ලොට් සංවිධානවලට සෙසු තරුණ සංවිධාන විනාශ කර දැමිමේ අවශ්‍යතාවක් නොවීය.
ඇයි හොඳයිකම් නැතිවීම

තංගදොරේ සහ කුට්ටුමනී අතර එවැනි අදහසක් නොවූයෙන් ප‍්‍රභාකරන්ගේ ආත්මාර්ථකාමී අදහසට ඔවුන් විරුද්ධ විය. ඔවුන් අතර ප‍්‍රථමවරට ඇයි හොඳයිකම් නැතිවූයේ එම කරුණ මුල්කරගෙනය.

මේ සංවිධානවලට ඒ වනවිට අවශ්‍යවම තිබුණේ මුදල්ය. ප‍්‍රභාකරන්ගේ යටි අරමුණ වූ දෙමළ විමුක්තිය ගොඩනගා ගැනීමට මුදල් අවශ්‍ය විය. එය ලබාගතහැකි එනම් පහසුම ක‍්‍රමය නම් බැංකු මංකොල්ල කෑමයි.
ඔවුහු ප‍්‍රථමයෙන්ම උතුරේ බැංකු කිහිපයක් සහ සමූපකාර කිහිපයක් කොල්ලකා මුදල් එක්රැස් කරගත්හ. ප‍්‍රථම බැංකු කොල්ලයේ මුදල්වලින් විශාල කොටසක් ලබා ගත් ප‍්‍රභාකරන් ටෙලෝ සංවිධානයෙන් ඉවත්වී ඔහුගේම සංවිධානය ගොඩනගා ගැනීමට කටයුතු කෙළේය.

හොර බඩු ජාවාරම

ඔහු ඒ සඳහා කිලිනොච්චි මුලතිව් ප‍්‍රදේශවල තරුණ පිරිස්ද එක්රැස් කරගත්තේය. ගැහැනු, පිරිමි භේදයක් නොමැතිව සාමාජිකයන් එක්රැස්කරගනිමින් ඔහු දිගටම සංවිධාන කටයුතුවල නියැලුණේ ඉන්දියාවේ සිට ලංකාවට හොර බඩු ජාවාරමද සරුවට කර ගනිමින්ය.

මේ වන විට 80 දශකයත් ආරම්භවී තිබුණි. උතුරේ ත‍්‍රස්තවාදී සංවිධාන කි‍්‍රයාත්මකවීමට යන බවට එවකට පොලිස්පතිව සිටි ආනා සෙනෙවිරත්න මහතාට තොරතුරු ලැබී තිබුණි.

ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ පාලන කාලයයි. ඒ පොලිස්පතිවරයා ඒ අවස්ථාවේ කිලිනොච්චි පොලිස් ස්ථානාධිපති වශයෙන් බුද්ධි අංශ නිලධාරියකු වූ මනුකුල පියරත්න වීරසේකර මහතා එහි යැවීය.

ඒ මහතා බුද්ධි තොරතුරු එක්රැස් කරමින් ත‍්‍රස්තවාදී කටයුතුවල යෙදෙන තරුණයන් තිස්දෙනකුගේ තොරතුරු සොයාගත්තේය. ප‍්‍රභාකරන් ඉන් ප‍්‍රබල අයෙකි. ඒ වන විට ප‍්‍රභාකරන් ත‍්‍රස්තවාදී කටයුත්තකට සාමාජිකයන් එක්රැස් කරගනිමින් ආයුධ සහ පිරිස් බලයද කිලිනොච්චි, මුලතිව් ඇතුළු ස්ථාන කිහිපයකදී සාමාජිකයන්ට ආයුධ පුහුණව ලබාදීමට කටයුතු කෙළේය.

මෙහිදී ප‍්‍රභාකරන්ගේ ප‍්‍රධාන සගයා වූයේ ඔහුගේ පවුලේ ඥාතියකු වූ කි‍්‍රෂ්ණකුමාර් හෙවත් ‘කිට්ටුය’ ඊට අමතරව තරුණ දෙමළ සංවිධානයක් වූ ලිබරේෂන් ට‍්‍රැවල්ස් ඔෆ් ඊළාම් සංවිධානය ඔහු සමඟ ඉතිරිවූ පිරිසද ප‍්‍රභාකරන්ට එක්විය.

මේ අනුව ප‍්‍රභාකරන්ගේ දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය මුලදී යාපනය අර්ධද්වීපයට පමණක් සීමාවිය. ඊට හේතුව වුණේ තවත් ද්‍රවිඩ සංවිධාන කිහිපයක් සෙසු ප‍්‍රදේශවල කි‍්‍රයාත්මක වීමයි. රත්න සභාපතිගේ නායකත්වයෙන් යුත් ඊරෝස් සංවිධානය ඒවනවිට නැගෙනහිර කි‍්‍රයාත්මක වෙමින් තිබුණි.

ප්ලොට් සංවිධානය

එල්. ටී. ටී. ඊ සංවිධානය මදක් හිස ඔසවමින් සිටින විට ප‍්‍රභාකරන් උමා මහේෂ්වරන්ගේ ප්ලොට් සංවිධානය විනාශ කර දැමීමට සැලසුම් කෙළේය. එහි ප‍්‍රථම පියවර වූයේ ප්ලොට් සංවිධානයේ යාපනය සංවිධායක වූ සංගිලි ඝාතනය කිරීමයි. එතැන් සිට උමා ප‍්‍රභා වෛරය ඇතිවී එය දෙපාර්ශවයේ සාමාජිකයන් අතරටද ව්‍යාප්තවිය.
දෙමළ සංවිධානවල සාමාජිකයන් එකිනෙකා ඝාතනයවීම ආරම්භවූයේ එතැන් සිටය. ප‍්‍රභාකරන්ගේ කොටි සංවිධානය දෙමළ ජාතිකයන් ඝාතනය කිරීම කොල්ලකෑම් ආදිය සිදු කෙළේය. මේ අතර ආරක්ෂක අංශවල අවධානය ඔහු වෙත යොමු වෙද්දි ඔහු හොර මුහුදු මාර්ග ඔස්සේ දකුණු ඉන්දියාවට පලාගොස් ආරක්‍ෂාව ලබාගෙන සිටීමට අමතක කෙළේ නැත.

ඉන්දියාවට පලායාම

එහෙත් ප‍්‍රභාගේ සාමාජිකයෝ සංවිධාන කටයුතු කරගෙන ගියහ. මෙසේ දකුණු ඉන්දියාවට ප‍්‍රභා පැනගිය අවස්ථාවක උමා මහේෂ්වරන්ද එහිදී ඔහුට මුණගැසුණි. දෙදෙනාම එහි හෝටලයක මුණ ගැසුණු අවස්ථාවේ එකිනෙකාට වෙඩි තබාගැනීමට පටන්ගත්තේය.

එහිදී දෙදෙනාම පොලිස් අත්අඩංගුවට පත්ව මාස 6 බැගින් ඉන්දීය සිර භාරයටද පත්වූහ. වෙඩි තබාගැනීමේදී උමාට පමණක් තුවාල සිදුවී තිබුණි.

ප‍්‍රභා හිරෙන් නිදහස්වී එද්දී තවත් ද්‍රවිඩ සංවිධාන කිහිපයක් ඇතිවී තිබුණි. ඒ වනවිට ප‍්‍රභාගේ සිතේ ඊළම් රාජ්‍යයක සිහිනය පැලපැදියම්වී තිබුණි. ඒ නිසා තම එල්. ටී. ටී. ඊ. සංවිධානය පමණක් ඊළාම් රාජ්‍යයක ඔටුන්න පැළඳවිය යුතුයැයි සිතූ ප‍්‍රභාකරන් සෙසු තරුණ දෙමළ සංවිධාන සියල්ලම විනාශ කිරීමට පියවර ගත්තේය.
සෙසු තරුණ සංවිධාන බිහිවීම තම එල්. ටී. ටී. ඊ. සංවිධානයේ කටයුතුවලට විශාල බාධකයක් වන බව ප‍්‍රභාකරන් කල්පනා කෙළේය.

මේ අතර ප‍්‍රභාකරන් දෙමළ තරුණයන්ට ආයුධ පුහුණුව ආදිය ලබාදී සටන්කාමී පුද්ගලයන් බවට පත්කරද්දී ඒ තරුණයන්ගේ අසහාය නායකයා බවට ප‍්‍රභාකරන් පත්විය.

මේ අතර මහේන්ද්‍ර රාජා නොහොත් මහත්තයාද ප‍්‍රභාගේ ළඟම හිතවතකු බවට පත්විය. ප‍්‍රභාගේ සංවිධානයේ සාමාජිකයන් නියම නම වෙනුවට සංඥා නාමයන් හැඳින්වීමට පටන් ගත්තේය. ඒ අතර ඔහුගේ සංවිධානය නායකයන් ප‍්‍රාදේශීය නායකයන් කාන්තා සාමාජිකාවන් ඇතුළු සියල්ල එක්රැස්කර සංවිධානයේ ව්‍යූහය සකස් කෙළේය.

ආරක්ෂකයන් 500ක්

ප‍්‍රභාකරන්, දෙවැනි පෙළ නායකයන් විවිධ අංශ බාර නායකයන්, ප‍්‍රාදේශීය නායකයන් අතර බලය බෙදා හැරියේය. කොටි බුද්ධි අංශය, සන්නද්ධ අංශය, මරාගෙන මැරෙන කොටි, දේශපාලන අංශය මුහුදු කොටි බලකාය ආදී වශයෙන් විවිධ අංශවලට පත්වූහ. ප‍්‍රභාකරන්ගේ සෘජු පාලනය යටතේ එම කොටස්වල කටයුතු සිදු කෙරුණි. ඔහුගේ අරක්‍ෂිතයන් පන්සීයක් පමණ වූහ.

ඔත්තුසේවයක්ද ආරම්භ කළ ප‍්‍රභාකරන් සාමාජිකයන්ගේ ආරක්‍ෂාව පිණිස සයනයිඩ් කරල නිපදවීමට තීරණය වුණේ මේ වකවානුවේද ! කිසිම අවස්ථාවක සංගමයේ රහස්‍ය භාවය ආරක්‍ෂා කළයුතු අතර රහස්‍ය භාවය රැකගත නොහැකි වුවහොත් සයනයිඩ් කා ජීවිතය විනාශ කරගත යුතු බවට උපදෙස් ලැබී තිබුණි.

ප‍්‍රභාගේ කමිස කොලරයේ කොනකද සයනයිඩ් කරල සැඟවිණි. සෙසු සාමාජිකයන්ගේ ගෙලේ එල්ලා තිබුණි. සයිනයඩ් කා ජීවිතය නැතිකර ගැනීම එම සංවිධානයේ පොදු නීතියද විය.

විවාහය සිදුවීම

මේ අතර වයස අවුරුදු 29 දී ඔහුගේ විවාහය සිදුවිය. මන්නි වන්නාහි හෙවත් මදිවාදිනි ඔහුගේ බිරිය වූවාය. ඇය විශ්ව විද්‍යාල උපාධි අපේක්‍ෂිකාවකි. ඔහුගේ විවාහය සිදුවුණේද අහම්බෙනි. ආරක්‍ෂක හමුදා මර්දනයට එරෙහිව සිසු සිසුවියන් පිරිසක් විශ්වවිද්‍යාල භූමියේ මාරාන්තික උපවාසයක යෙදී සිටියහ.

ඒ උපවාසය දෙස එල්. ටී. ටී. ඊ. ය බැලුවේ ඔවුන්ගේ දුර්වලකමක් ලෙසයි. උපවාසයෙන් නොව සටන්වැදී එම ප‍්‍රශ්නය විසඳ්‍රගත යුතු බව ප‍්‍රභාකරන් ඔවුන්ට පැවැසීය.

එහෙත් උපවාසය නතර නොකෙරුණි. ඒ අතර ප‍්‍රභාකරන් ඇතුළු පිරිස ඔවුන් බෝට්ටුවල දමාගෙන ගොස් තමිල්නාඩුවට රැගෙන ගියහ. ප‍්‍රභා ඔසවාගෙන ගියේ මදිවාදිනීය.

තමිල්නාඩුව දක්වා යන ගමනේදී මේ තරුණිය කෙරෙහි බැදීමක් ඇතිවීමෙන් පසු සන්නද්ධ නායකයකු පේ‍්‍රමයට බරවී සිටීම ඔහුගේ සන්නද්ධ මානසික තත්ත්වයට බාධාවක් බැවින් දින කීපයක් ඇතුළත ප‍්‍රභා - මදිවාදිනි විවාහය සිදුවිය. එම විවාහය මදුරාසියේදී සිදුවිය.

මේ අතර 1983 වසර වන විට උතුරුකරයේ ප‍්‍රදේශ ගණනාවක් බොහෝ සෙයින් යාපනය අර්ධද්වීපය කොටි සංවිධානයේ යටතට පත්විය. උතුරේ විවිධ වූ අපරාධ ඇතිවෙන්නට පටන් ගත්තේද එම වකවානුවේදීය.
1983 ජූලි 23 දිනය උදාවිය. එය උතුරට / දකුණට පමණක් නොව මුළු ශී‍්‍ර ලංකාවටම අමතක නොවන දිනයකි. එදින දහවල් වෙනදා මෙන් සාමාන්‍ය අන්දමින් සිදුකෙරුණි.

එවකට උතුරේ හමුදා අණදෙන නිලධාරියා වුණේ බි‍්‍රගේඩියර් බල්තසාර්ය. එදින රාති‍්‍රයේ හමුදා මුරපොළට සහ ආරක්ෂක සංචාරක නිලධාරීන්ට පහරදීමට එල්. ටී. ටී. ඊ. ය සූදානම් කර තිබුණි. ඔත්තුකරුවකු මගින් බි‍්‍රගේඩියර් බල්තසාර්ට ඒ වග දැනගන්න ලැබුණි. ඒ සමඟම රාතී‍්‍ර සියලු ආරක්‍ෂක අංශ සීරුවෙන් තබා තිබුණි.

මේ අතර රාතී‍්‍ර මුර සංචාරය කර ආපසු රාතී‍්‍ර 11.00 ට පමණ ෂෝ, ෂෝ, බාවෝ නමින් හදුන්වන හමුදා භට කණ්ඩායම කඳවුර වෙත පැමිණෙමින් සිටියහ. එම කණ්ඩායමේ නායකයා වූයේ දෙවැනි ලුතිනන් වාස් ගුණවර්ධනය. එම කණ්ඩායම 15 දෙනකුගෙන් සමන්විත විය.

ඔවුහු ගුරුනගර් හි පිහිටි හමුදා මූලස්ථානය සමඟ විනාඩි පහකට වරක් පණිවිඩ හුවමාරු මගින් සම්බන්ධ වූහ. ජීප් රථයකින් සහ ට‍්‍රක් රථයකින් ඔවුන් එසේ පැමිණෙමින් සිටියදී යාපනය පලාලි පාරේ දෙවැනි සැතපුම් කණුව අසල තින්නවේලිවලදී කොටි සංවිධානයේ ප‍්‍රබල සටන්කරුවකු වූ “සෙල්ලකිලිගේ” කණ්ඩායම එම ස්ථානයේ බිම් බෝම්බද වළලා මග රැක සිටියහ.

තවත් තත්පර කීපයකදී වාහන දෙක එම ස්ථානය අසලින් යද්දී මහා හෙණ හඬක් නඟමින් බිම් බෝම්බ පිපිරී ගොස් ජීප් රථය කුඩුපට්ටම් විය. ඒ හමුදා සෙබලු විශාල පිරිසක් ඒ මාරාන්තික බිම් බොම්බයට ගොදුරු වී මිය ගියත්, ඒ අවස්ථාවේ මග රැකසිටි “සෙල්ලකිලිගේ” කණ්ඩායම බිම් බෝම්බයට හසු නොවූ පිරිසට වෙඩි තැබූහ. දෙපාර්ශව අතර ඇතිවූ වෙඩි හුවමාරුවෙන්ද ලුතිනන් වාස් ගුණවර්ධන ඇතුළු 13 දෙනෙක් මිය ගියහ.

කළු ජූලිය

එහෙත් කොටින්ට මේ ප‍්‍රහාරයෙන් සතුටුවෙන්නට නොහැකිවිය. දෙපාර්ශවය අතරවූ වෙඩි හුවමාරුවේදී මේ අපරාධ සැලසුම කළ සෙල්ලකිලිද ජීවිතක්‍ෂයට පත්විය.

මේ ඝාතන සිද්ධියත් සමඟම දකුණේ ජනතාව අතර මහා කළබලකාරී තත්ත්වයක් ඇතිවිය. උතුරේ සිට හමුදාවේ දිවි පිදූ 13 දෙනාගේ මෘත දේහ කොළඹ බොරැල්ල කනත්තේ භූමදානය කිරීමට නියමිතව තිබුණි.

එනම් ජූලි 24 වැනිදා එම අවසන් කටයුතු සිදුවීම අවසන් වනවාත් සමඟම එතෙක් මේ අපරාධයෙන් වේදනාවට / කෝපයට පත්ව සිටි දකුණේ ජනතාව හරහා දරුණු ඛේදවාචකයක් වූ කළු ජූලිය ඇතිවිය.

‘කලදුටු කල වල ඉහගන්නන්’ මෙන් ප‍්‍රභාකරන් කළු ජූලිය තම සංවිධානයට ආශිර්වාදයක් කර ගනිමින් ඒ හරහා අන්තර්ජාතිකය සමඟ එක්වන්නට කටයුතු කෙළේය.

මේ අතර 1983 පිටකොටුවේදී ද කොටි දරුණූ ලෙස බෝම්බයක් පුපුරුවා හැරියේය. ඒ අවාසනාවන්ත සිද්ධියත් සමඟම කොටින්ට එරෙහිව උතුරේ මෙහෙයුම් ගණනාවක් කි‍්‍රයාත්මක විය.

වඩමාරච්චි මෙහෙයුම

ඒ අතර 1987 වසරේදී උතුරේ තීරණාත්මක මෙහෙයුමක් ආරම්භ විය. එනම් ඒ 1987 මැයි 28 වැනි දින ආරම්භ වූ “විමුක්ති මෙහෙයුම” නොහොත් වඩමාරච්චි මෙහෙයුමයි.

එම මෙහෙයුමේ නියමුවා වූයේ සෙන්පති “මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුවයි. එම මෙහෙයුමේ දී දැවැන්ත ලෙස ප‍්‍රභාගේ ත‍්‍රස්තවාදී කණ්ඩායම පරාජයකට පත්වූහ.

1987 පසු පරාජයට පත්වූ එල්. ටී. ටී. ඊ. ය යළි හිස ඔසවන්නට පෙර ඉන්දු – ලංකා ගිවිසුම යටතේ ඉන්දීය හමුදාව මෙරටට පැමිණීයහ. ටික කාලයක් ත‍්‍රස්තවාදීන්ගේ අපරාධ අඩුවී තිබූ අතර යළිත් 1990 පමණ වන විට කොටින්ගේ මිලේච්ඡ කි‍්‍රයා වැඩිවෙමින් පැවතුණි.

ඔහුගේ සංවිධානයේ අමානුෂික කි‍්‍රයා නැඟෙනහිර ප‍්‍රදේශයටද ව්‍යාප්ත වුණි. නැගෙනහිර පළාතේ සිංහල ගම්මාන තෝරා පහර දෙන්නට විය. අහිංසක දරු පැටවුන් ගැබිනි මවුවරු වයෝවෘද්ධ මවුපියන් කොටි ත‍්‍රස්තවාදීන් අමුඅමුවේ නිදි පැදුරේම කපා කොටා මරා දැමූහ.

අරන්තලාවේ භික්ෂූන් වහන්සේලා 35 නමක් ඝාතනය කළහ. කිතුල්උතුව බස් රථයේ සාමාන්‍ය වැසියන් එකසිය ගණනක් කපා කොටා මරා දැමූහ. ශී‍්‍රමහ බෝධින් වහන්සේ ඉදිරිපිට මිනිස් ඝාතන සිදුකළහ.

අහිංසක දරුවන් කොටි සංවිධානය මගින් ඝාතනය කරද්දී ප‍්‍රභාකරන්ගේ බිරිය ඔහුට දාව දරු තිදෙනෙකු බිහිකළාය. චාල්ස් ඇන්තනී, දුවාරා සහ බාලචන්ද්‍රන් එම දරු තිදෙනාය.

කොටි සංවිධානය දරුණු අපරාධ සිදුකරමින් මිනිස් ජීවිත විනාශ කරද්දී තවත් කොටසක් ඔවුන්ට උදවු කළහ. මිල මුදල් අවි ආයුධ ලබාදුන්හ. රාජ්‍ය නොවන සංවිධාන ඉන් ප‍්‍රධාන විය.

විදේශ රටවලින් නවීන අවි ආයුධ ගෙන්වා ගත්හ. ඔහුගේ සංවිධාන කටයුතු පුළුල් කෙළේය. ඔහුගේ වචනය විවේචනයකින් විරුද්ධවීමකින් තොරව පිළිගතයුතු තත්ත්වයට සංවිධාන සාමාජිකයන් බියකර රඳවා ගත් ප‍්‍රභාකරන් ඔහුට විරුද්ධ වූ සියලුම සාමාජිකයන් ඝාතනය කෙළේය. නැතහොත් සිර කර තැබීය.

මහත්තයා ඝාතනය කිරීම

ඔහු සමඟ සංවිධානය ගොඩනැගීමට කැපවූ ඔහුගේ ළඟම හිතවතාවූ මහේන්ද්‍රරාජා නොහොත් මහත්තයා ඝාතනය කෙළේ ඒ ආකාරයෙනි.

පසුව ඔහුගේ සංවිධානයට ඇන්ටන් බාලසිංහම්, තමිල් සෙල්වම්, ඇඩෙලා බාලසිංහම්, ඉලංගතේරියන්, දයා මාස්ටර්, නඩේසන් ඇතුළු උපදේශක නායකයන්ද පොට්ටු අම්මාන්, ස්වර්ණන්, නීලන්, භානු, කරුණා, කෞෂල්‍යයන්, රමේෂ්, සුසෙයි, චාලනී, කුමාරප්පන් පුලේන්ද්‍රන්, රමහන්, රඝු ආදී සන්නද්ධ සහ බුද්ධි අංශ නායකයන් රැසක්ද සම්බන්ධ කර ගත්හ.

හොර බඩු ජාවාරම, කප්පම් ගැනීම, හෙරොයින් ජාවාරම ඇතුළු ජාවාරම් ඔස්සේ කොටි භාණ්ඩාගාර පුරවා ගත්තේය. අන්තර්ජාතික වශයෙන් පුළුල් සම්බන්ධතාවයක් ඇති කරගත් මේ නායකයා විදේශ ගතව සිටින දෙමළ වැසියන්ගෙන් පවා කප්පම් ලබාගත්තේය.

රටේ ප‍්‍රභූවරු, දේශපාලනඥයන්, උගතුන්, බුද්ධිමතුන්, පාසල් දරුවන්, අහිංසක මිනිසුන් ඇතුළු විශාල පිරිසක් ඝාතනය කරමින් රටේ ආර්ථික මර්මස්ථාන විනාශ කරමින් මෙරටට ආර්ථික හා සමාජයීය වශයෙන් විශාල ලෙස අලාභහානි සිදු කෙළේය.

සටන් විරාම ගණනාවක්

මේ තත්ත්වය මැඩලීම පිණිස සටන් විරාම ගණනාවක් පැවැත්වුණි. සාම සාකච්ඡා පැවැත්වුණි.

එහෙත් සිදුවුණේ කොටි ත‍්‍රස්තවාදී සංවිධානය පෝෂණය වීම පමණි. ඒ අතර අහිංසක දෙමළ ජනතාවගේ දරුවන්, තරුණ තරුණියන් යුද්ධයට සිරකරමින් මහා පරිමාණයෙන් දෙමළ ජනතාවගේ ජීවිත විනාශ කර ඊළාම ලබාගන්නා තෙක් ඔවුන්ගේ අනාගතය, ජීවිතය ඊට හිරකර තැබුවේය. එහෙත් ඔහුගේ දරුවන් විදේශ රටවල අන්තර්ජාතික පාසල්වලට යවා අධ්‍යාපනය ලබා දුන්නේය.

කරුණු මෙසේ සිදුවෙමින් තිබියදී මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා ජනාධිපති ධූරයට පත්වී රටේ සේනාධිනායකයා වශයෙන් මේ ත‍්‍රස්තවාදය මුලින්ම විනාශ කර දමා රටේ අහිංසක ද්‍රවිඩ ජනතාව ප‍්‍රභාගේ සිර අඩස්සියෙන් බේරා ගැනීමේ අදහස කි‍්‍රයාත්මක කෙළේය.

ති‍්‍රවිධ හමුදාපතිවරු ඊට කැමැත්ත ප‍්‍රකාශ කළහ. වසර තිහකට ආසන්න කාලයක් විසදා ගැනීමට නොහැකි වූ ත‍්‍රස්තවාදයට හොඳම පිළිතුර දෙමින් ලෝකයක්ම මවිතයට පත්කරමින් ප‍්‍රථමයෙන් නැඟෙනහිර ප‍්‍රදේශයත් පසුව උතුරත් ප‍්‍රභාකරන්ට අහිමි කෙළේ වසර දෙකක් වැනි කෙටි කාලයකදීය.

නිවැරැදි නායකත්වය


නිවැරැදි නායකත්වය ස්ථිර අධිෂ්ඨානය, අවංකකම කැටිකරගත් ජනපතිතුමා ඇතුළු සමස්ත හමුදා විරුවන්ගේ ඒ කැපවීම නිසා ප‍්‍රභාකරන්ගේ සම්පූර්ණ කොටි බලයම විනාශ කර දැමීමට හැකිවිය. එය ආශ්චර්යයකි.

ලෝකයේ අංක එකේ ගරිල්ලා නායකයෙක් මේ තරම් කෙටි කාලයකදී මේ තරම් දුර්වල කිරීමට හැකිවීම මේ පුංචි රටේ ජනතාවට අද ලෝකයේ ඕනෑම තැනක කොන්ද කෙළින් තබාගෙන ඇවිදීමට තරම් වාසනාව හිමිවූ කීර්තියකි.
ප‍්‍රභාකරන්ට දැන් සියල්ල අහිමිවී හමාරය. දැන් ඔහු සැඟවී සිටින්නේ ඔහුගේ හුස්ම ටික රැකගනු පිණිසය. එහෙත් ඒ කොපමණ කාලයකටදැයි අපි නොදනිමු.

එහෙත් ඔහුට දැන් සමාවක් නැත. දෙමළ ජනතාවගේ එකම ගැලවුම්කාරයා යැයි පැවැසූ ඔහු දැන් කොතනකින් හෝ ඒ අහිංසක ජනතාවට දැකගැනීමට ලැබුණ හොත් ඔහුගේ අවසානය ඒ ජනතාව අතින් හෝ ඔහුගේම කොටි ගෝලයකු අත රැඳුණු ගිනි අවියෙන්ම සිදුවිය හැකිය.

දිනමිණ ඇසුරෙනි

Comments

  1. this is hell of the guy who push our mother land to hell...

    ReplyDelete

Post a Comment

POST YOUR DOWNLOAD LINKS AND THOUGHTS HERE...

Popular posts from this blog

Wrong Turn 3 Left for Dead 2009 STV DVDRip XviD-GFW

The Taking Of Pelham 123 DVDRip XviD-ARROW