මෙතරම් මානුෂික මෙහෙවරක් කරන හමුදාවක් ලොව කොහෙවත් නෑ

කොටින්ගෙන් මිදී එන සිවිල් වැසියෝ කියති

කොටි ග‍්‍රහණයේ වසර තිහකට අධික කාලයක් නොයෙක් වදහිංසා විදිමින් ගත කළ තම ජීවිත මේ මොහොත වන විට සැබෑ නිදහස විදීම ආරම්භ කර ඇතැයි කොටි ග‍්‍රහණයේ සිට පැමිණි සිවිල් වැසියෝ පවසති.

දුක් මහන්සියෙන් හම්බකර ගත් මුදල තමන් ළඟ තබා ගැනීමට හැකියාවක් නොතිබුණු මේ අහිංසකයන් ගේ මුහුණු වල අනාගත බලාපොරොත්තු මේ වන විට ඇති වී තිබේ.

2009 වසරේ ජනවාරි මාසයේ සිට ඊයේ (මාර්තු 29) පෙරවරු වන තෙක් ගත වූ කාලයේ දී කොටි ග‍්‍රහණයේ සිටි සිවිල් වැසියන් හැටදහසකට ආසන්න ප‍්‍රමාණයක් හමුදා පාලන ප‍්‍රදේශවලට පැමිණ තිබුණි.

මොවුන් ගෙන් වැඩි පිරිසක් කොටි ග‍්‍රහණයෙන් පැමිණෙන අවස්ථාවේ කොටින් විසින් වෙඩි තබා තිබූ අතර යුද හමුදාව එම කොටින්ට ප‍්‍රහාර එල්ල කර සිවිල් වැසියන් බේරා ගැනීමට සමත් වූහ.

මෙලෙස කොටි ප‍්‍රහාරවලට ලක්වී තුවාල ලැබූ සිවිල් වැසියන් තුන්දහස් පන්සියයකට වැඩි පිරිසක් මේ මොහොත වන විට රජයේ රෝහල් වල ප‍්‍රතිකාර ලබති.

වවුනියාව, අනුරාධපුර, පොලොන්නරුව, ති‍්‍රකුණාමලය ඇතුළු ප‍්‍රදේශ රැසක පිහිටි රෝහල්වල මොවුහු මෙලෙස ප‍්‍රතිකාර ලබති.

යුද හමුදාව මේ පිරිස කොටි ග‍්‍රහනයෙන් මුදාගෙන වහාම රෝහල් වෙත යොමු නොකළේ නම් මේ පිරිස අද ජීවිතයෙන් සමුගෙන හමාරය. පුදුමාතලන් ඇතුළු යුද මුක්ත කලාපය සහ පුදුකුඩුඉරිප්පු ඇතුළු ප‍්‍රදේශවල සිටි සිවිල් වැසියන් පන්දහස් තුන්සියයක පිරිසක් ඉකුත් සතියේ රජයේ පාලන ප‍්‍රදේශයට පැමිණියහ.

“අපට කොටි ග‍්‍රහණයේ ඉදල ඇති වෙලා. මෙලොව අපායක තමයි අපි ජීවත් වුනේ. ජීවිතයත් මරණයත් අතර ලොකු සටනක් දීලා රජයේ පාලන ප‍්‍රදේශයට පැමිණියා. දැන්නම් අපේ හිත්වලට දැනෙන නිදහස සතුට ශක්තිය ගැන වචනයෙන් කියන්න බැහැ” කොටි ග‍්‍රහණයේ සිට රජයේ පාලන ප‍්‍රදේශවලට පැමිණි වැසියෝ නිරන්තරයෙන් එසේ පවසති.

කඳවුරුවලට යන්න එපා

විශ්වමඩු ඇතුළු ප‍්‍රදේශ රැසක පිහිටුවා ඇති සහන කඳවුරු වෙත නොයන ලෙස කොටි ත‍්‍රස්තයෝ ඉකුත් සතිය පුරාවට ම සිවිල් වැසියන්ට නිවේදනය කළහ.

“හමුදා ප‍්‍රදේශවලට යන්න එපා. යුද හමුදාවේ නිලධාරීන්, සෙබළුන්, දෙමළ ජනතාවට නොයෙක් හිරි හැර කරනවා” කොටි සිය ශබ්ද විකාශන යන්ත‍්‍ර මගින් නිවේදනය කර ඇත.

එහෙත් රජයේ හමුදා ගැන විශ්වාසය තබා ඇති ද්‍රවිඩ වැසියෝ දිනකට දහස් ගණනින් රජයේ පාලන ප‍්‍රදේශවලට පැමිණෙයි.

“කොටි ත‍්‍රස්තවාදීන් අපිව තවමත් රවට්ටන්න හදනවා. අපි දැන් ඔවුන්ගේ බොරු වලට රැවටුන කාලය ඉවරයි. හමුදාවේ මහත්වරු නොහිටින්න අපි මැරුණු තැන්වල ගස් පැලවිලා.

යුද හමුදාවේ සෙබළුන් අපිට සළකන්නේ ඒ අයගේ ඥාතීන් සහෝදරයින් ලෙසටයි.

ඔවුන් අපේ බඩගින්න ඔවුන්ගේ බඩගින්න ලෙසම දකිනවා. අපේ වේදනාව ඔවුන්ගේ වේදනාව ලෙස සළකමින් අපිට නොයෙක් උදවු උපකාර කරනවා. අපි ඔවුන්ගෙන් ඉල්ලන්නේ ත‍්‍රස්තවාදය හැකි ඉක්මනින් අවසන් කරන්න කියලායි.” කොටි ග‍්‍රහණයේ සිට හමුදා පාලන ප‍්‍රදේශවලට පැමිණි සිවිල් වැසියෝ එසේ ප‍්‍රකාශ කර සිටිති.

කොටි සාමාජිකයන්

ඉකුත් සතියේ කොටි සංවිධානයෙන් ඉවත් වූ කොටි නායකයින් ඇතුළු පන්සියයකට ආසන්න කොටි සාමාජිකයන් පිරිසක් සිවිල් වැසියන් සමග පැමිණ යුද හමුදාව වෙත භාර වී තිබේ. මේ පිරිස අතර ප‍්‍රාදේශීය කොටි නායකයින් මෙන්ම ප‍්‍රධාන පෙළේ කොටි නායකයන් ද සිටින බවට යුද හමුදා බුද්ධි තොරතුරු විසින් හඳුනා ගෙන ඇත.

සිවිල් වැසියන් දිගින් දිගටම කොටි ග‍්‍රහණයේ සිට හමුදා පාලන ප‍්‍රදේශයට පැමිණියේ කොටි ඉදිරි ආරක්ෂක වලල්ල පසු කරමින් ගොඩ බිම් මාර්ගයෙනි. එහෙත් මේ මොහොත වන විට සිවිල් වැසියෝ පුදුමාතලන් ඇතුළු ප‍්‍රදේශවල සිට ධීවර යාත‍්‍රා ඇතුළු බෝට්ටු යොදා ගනිමින් රජයේ පාලන ප‍්‍රදේශවලට පැමිණෙයි.

එලෙස පැමිණෙන පුද්ගලයන්ට කොටි ත‍්‍රස්තයෝ වෙඩි තබා ඝාතනය කිරීමට උත්සහ ගනිති. එහෙත් සිවිල් වැසියෝ සිය ජීවිතය පරදුවට තබමින් කොටි ග‍්‍රහණයෙන් පලා එති.

මෙලෙස පලා එන සිවිල් වැසියන්ට ද කොටි ත‍්‍රස්තයෝ ඉකුත් සතියේ දී අවස්ථා ගණනාවක දී වෙඩි තැබූහ. එම ස්ථානවලට වහාම ගොස් කොටින්ට ප‍්‍රහාර එල්ල කර සිවිල් වැසියන් කොටි ග‍්‍රහණයෙන් මුදා ගැනීමට නාවික හමුදා සෙබළු සමත් වූහ.

කොටි ත‍්‍රස්තයන් සහ වන්නි මෙහෙයුමේ නිරත උදාර රණවිරුවන් අතර මුහුණට මුහුණලා දරුණු සටන් ආරම්භ වී ඇත. කොටි ත‍්‍රස්තවාදීහු යුද මුක්ත කලාපයේ සිට හමුදා භට පිරිස් වෙත කාලතුවක්කු ඇතුළු බර අවි ප‍්‍රහාර එල්ල කරයි.

එහෙත් යුද හමුදාව ඒ සඳහා ප‍්‍රතිප‍්‍රහාර එල්ල නොකිරීමට වග බලාගනියි. යුද හමුදාව බර අවි ප‍්‍රහාර එල්ල කළහොත් සිවිල් වැසියන්ට ඉන් හානි සිදු වීමට හැකිය. සිවිල් ජනතාව කොටි ග‍්‍රහණයෙන් මුදා ගැනීම සඳහා හමුදාව ආරම්භ කළ මානුෂීය මෙහෙයුම් පිළිබඳව අප රණවිරුවෝ නිරන්තරයෙන් විමසිලිමත් වෙති.

කොටි ත‍්‍රස්තවාදීන්ගේ අවසන් බළකොටුව වන පුදුකුඩුඉරිප්පු ප‍්‍රදේශයේ බලය වර්ග කිලෝමීටර් එකකට සීමා කිරීමට හමුදාව සමත් වී තිබේ. යුද මුක්ත කලාපය හැරුණු කොට කොටින්ට ඇත්තේ එක් වර්ග කිලෝමීටරයක බලය පමණි.

කොටින්ගේ බලය බිඳිමින් මේ ප‍්‍රදේශ අත්පත් කර ගැනීම සඳහා වූ සටන දිනෙන් දින සිය ඉලක්ක කරා ගමන් කරයි.

මේජර් ජනරාල් කමල් ගුණරත්න යටතේ වූ 53 වන සේනාංකය, බි‍්‍රගේඩියර් ශවේන්ද්‍ර සිල්වා යටතේ වූ 58 වන සේනාංකය සහ කර්නල් ජී. වී. රවිපි‍්‍රය මෙහෙයවන කාර්ය සාධක බළකාය 8 එක් පැත්තකින් කොටින්ට ප‍්‍රහාර එල්ල කරන අතර බි‍්‍රගේඩියර් ප‍්‍රසන්න සිල්වා මෙහෙය වන 55 වන සේනාංකය චලෙයි දෙසින් පුදුමාතලන් යුද මුක්ත කලාපය දෙසට සිය මෙහෙයුම් කි‍්‍රයාත්මක කරයි.

58 වන සේනාංකය යටතේ වූ 582 වන බලසේනාව සහ 581 බලසේනාව, වයඹ සිට බටහිරින්, උතුරේ සිට දකුණටත් ගමන් කරමින් ඉරණපාලෙහි ප‍්‍රදේශයේ බලය තහවුරු කරමින් සිටියි.

58 වන සේනාංකය මේ මොහොත වන විට පුදුමාතලන් යුද මුක්ත කලාපය ආසන්නයට ගොස් ඇති අතර යුද මුක්ත කලාපය සහ හමුදා ඉදිරි ආරක්ෂක වලල්ල අතර දුර මීටර් 400 කටත් වඩා අඩු දුරකි.

යුද මුක්ත කලාපය ආසන්නයේ

58 වන සේනාංකයේ භට පිරිස් විසින් කොටින්ගේ කි‍්‍රයාකාරකම් පියවි ඇසෙන් දැක ගනිති. කොටි ආහාර පාන, අවි ආයුධ ප‍්‍රවාහනය කරන ආකාරය, කොටි නායකයන් මෝටර්රථවල ගමන් කරන අයුරු මේ සියල්ල හොඳින් නිරික්ෂණය කරති. එහෙත් යුද හමුදාව මේ ප‍්‍රදේශයට ප‍්‍රහාර එල්ල නොකරති. පුදුමාතලන් ප‍්‍රදේශයේ සිවිල් වැසියන් විශාල වශයෙන් රැදී සිටීම හේතුවෙන් හමුදාව මේ තීරණය ගෙන ඇත.

මේ මොහොත වන විට යුද හමුදාව බර අවි ප‍්‍රහාර නතර කර තිබේ. පුදුමාතලන් ප‍්‍රදේශයේ දහස් ගණනින් සිවිල් වැසියන් රැදී සිටින අවස්ථා වේ.

අපට ඒ ප‍්‍රදේශයට බර අවි ප‍්‍රහාර එල්ල කරන්න බැහැ. අපි සිවිල් වැසියන්ගේ ජීවිත රැක ගැනීම වෙනුවෙන් උපරිම ලෙස කැප වී සිටිනවා යැයි සටන් භූමියේ සිටින උසස් හමුදා නිලධාරියකු මේ තීරයට පැවැසීය.

පුදුමාතලන් ප‍්‍රදේශයේ පිහිටි මුහුදු වෙරළට වෙනම කොටි සාමාජිකයින් පිරිසක් යොදවා ආරක්ෂාව තර කිරීමට කොටි නායකත්වය කටයුතු කර ඇත. එම වෙරළ තීරය හරහා පැමිණ කුඩා යාත‍්‍රාවල නැගී මුලනි සහ චලෙයි ප‍්‍රදේශවලට සිවිල් වැසියන් ගමන් කිරීම වළක්වාලීම මෙහි අරමුණ වී තිබේ.

රජයේ පාලන ප‍්‍රදේශවලට යන සිවිල් වැසියන් - දෙමළ ජනතාවගේ සතුරන් සේ සලකා ඔවුන්ට වෙඩි තබා ඝාතනය කරන ලෙසද කොටි නායක ප‍්‍රභාකරන් නියෝග කර ඇතැයි යුද හමුදා බුද්ධි අංශ අනාවරණය කරයි.

මේ අතර දැනට සටන් වැදී සිටින කොටි සාමාජිකයන්ගේ චිත්ත ධෛර්ය ශක්තිමත් කිරීමේ අරමුණෙන් කොටි නායක ප‍්‍රභාකරන් විසින් සටන් පාඨ නිකුත් කර ඇතැයි පැවසේ’ ‘කරමු නැත්නම් මැරෙමු, දැන් කරපන් නැත්නම් මැරියන්, කොටි රාජ්‍ය වෙනුවෙන් අපි දිවි පුදමු” යන සටන් පාඨ සඳහන් කරමින් කොටි නායකයන් සටන් මෙහෙය වන බවට බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබේ.

කොටි බුද්ධි අංශ නායක පොට්ටු අම්මාන් සහ මුහුදු කොටි නායක සුසෙයි ඉකුත් දිනවල දිගින් දිගටම සටන් මෙහෙයවා ඇතැයි යුද හමුදාව විසින් කොටි පණිවුඩ හුවමාරු යන්ත‍්‍ර වලට සවන් දීමෙන් අනාවරණය කර ගෙන ඇත.

දිගින් දිගටම මේ ආකාරයට ජ්‍යෙෂ්ඨතම කොටි නායකයින් සටන් බිමට යැවීමට කොටි නායක ප‍්‍රභාකරන්ට සිදු වී ඇත්තේ කොටි ජ්‍යෙෂ්ඨ නායකයින් සටන් බිමෙන් පැන යාම සහ හමුදා ප‍්‍රහාරවලින් කොටි නායකයින් ඝාතනයටට ලක් වී තිබීම නිසායි.

භූගත බංකර්

ගැටුම් වලින් පසු ප‍්‍රදේශයේ කරන ලද සෝදිසි මෙහෙයුම් වලදී පොට්ටුඅම්මාන් සිටි බවට තොරතුරු රැසක් සොයා ගත හැකි වූ දෙමහල් නිවසක් සොයා ගැනීමට හමුදා භට පිරිස් වෙත හැකි විය. දෙමහල් ගොඩනැගිල්ලේ ඉහළ කොටසට කොන්කී‍්‍රට් දමා තිබූ අතර ඊටත් ඉහළින් වැලිකොට්ට ගොඩ ගැසීමට කොටින් කි‍්‍රයා කර තිබුණි.

නිවස්නයේ බිත්ති සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි විශාල තේක්ක කඳන් සවි කර දැඩි ආරක්ෂාවක් ලබා දීමට කටයුතු කර තිබුණි.

කොටි ත‍්‍රස්තයන් විසින් මේ නිවසේ දොර ජනෙල් සඳහා විශාල කොන්කී‍්‍රට් තට්ටු යොදා තිබූ අතර භූගත බංකර් රැසක්ද එහි විය.

ඉකුත් දිනවල සිදු කළ මෙහෙයුම් වැඩි ප‍්‍රමාණයක් පොට්ටු අම්මාන් විසින් මේ නිවස්නයේ සිට සිදුකර ඇති බව හමුදාව පවසයි.

මරාගෙන මැරෙන කොටි

කොටි නායක ප‍්‍රභාකරන් මෙහි පැමිණ මරාගෙන මැරෙන (කලුකොටි) කොටි සාමාජිකයින් සමග අවසන් භෝජන සංග‍්‍රහ පවත්වා අති බවටද සාක්ෂි සොයා ගැනීමට හමුදා බුද්ධි අංශ සමත් වී තිබේ.

පුදුමාතලන් ප‍්‍රදේශයේ ද්‍රවිඩ වැසියන් අන්ත දුක් විඳින මොහොතේ කොටි නායකයින් සැප නිවාස වල සැපට සිටින අයුරු මේ නිවස්නය ඇතුළත ඇති පහසුකම් වලින් මනාවට පෙනී යයි.

මේ අතර පුදුකුඩුඉරිප්පු ප‍්‍රදේශයේ තවත් වැදගත් සිද්ධියක් සිදු විය. ඒ ඉකුත් බදාදාය.

තුවාල ලැබූ සෙබලුන් ගෙන ඒම සඳහා යුද බිමට ගිය හෙළිකොප්ටර් දෙකකට කොඩි ත‍්‍රස්තයෝ මිසයිල ප‍්‍රහාර එල්ල කළහ.

එහෙත් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ දක්ෂ ගුවන් නියමුවන්ගේ හැකියාවෙන් කොටි මිසයිල ප‍්‍රහාර දෙක ව්‍යාර්ථ කෙරිණි. කොටි හෙළිකොප්ටර් යානා දෙකට කොටි ප‍්‍රහාර එල්ල කරන මොහොතේ තුවාල ලබා සිටි සෙබළුන් රෝහල් ගත කිරීමට ගුවන් නියමුවන් සිය ගමන ආරම්භ කර තිබුණි.

ශ‍්‍රී ලංකාවේ ති‍්‍රවිධ හමුදාවේ හෝ පොලිසියේ නිලධාරීන් කිසිවිටක තුවාල ලබා සිටින කොටි සාමාජිකයින්ට අනතුරක් සිදු කලේ නැත. සටන් බිමේදී හමුවන කොටි සාමාජිකයින්ට ජීවිත දානය දීමට තරම් හමුදා සෙබළුන් කාරුණික වූහ.

කොටින්ට ප‍්‍රතිකාර

කොටි ත‍්‍රස්තවාදීන් මේ මොහොත වන විටත් කි‍්‍රයාකරන්නේ කුරිරු ත‍්‍රස්තවාදය සඳහා පමණකි.

දැඩි රෝගී තත්ත්වයෙන් පෙලී සිටින කොටි නායක ප‍්‍රභාකරන් තවමත් අනාරක්ෂිත ප‍්‍රදේශවල සිටින බවට තොරතුරු හෙළි වී තිබේ.

ප‍්‍රභාකරන් සමගම ගමන් කරන ඔහුගේ වෛද්‍ය බලකාය පුදුමාතලන් ප‍්‍රදේශයේ භූගත ස්ථානයක තාවකාලිත රෝහලක් ඉදිකර ඇති බවට සිවිල් වැසියන් සඳහන් කර ඇත.

කොටි තවමත් තමන්ගේ ගරිල්ලා සටන් ක‍්‍රම අනුගමනය කරන බව පෙන්වීම සඳහා ඉකුත් සතියේ අවස්ථා දෙකකදී ති‍්‍රකුණාමල සේරුනුවර සහ පොලොන්නරුව වැලිකන්ද ප‍්‍රදේශවලදී ගොවීන් නව දෙනෙකු ඝාතනය කළහ.

කොටි 1980 වසරේදී මෙන් කි‍්‍රයා කිරීමට උත්සහ ගෙන ඇත්තේ දකුණේ ජනතාව අතර බියක් ඇති කිරීම සඳහා බව යුද විශේෂඥයන් පෙන්වා දෙයි.

කොටි ත‍්‍රස්තයන්ගේ කුඩා කණ්ඩායම් කිහිපයක් මෙලෙස ප‍්‍රහාර සඳහා පැමිණ ඇති බවට බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී ඇති අතර එම කොටි සාමාජිකයින් ඝාතනය කර දැමීම සඳහා වූ කි‍්‍රයාමාර්ග ආරක්ෂක අංශ විසින් කි‍්‍රයාවට නංවා ඇත. මේ අතර ප‍්‍රධාන නගරයක් හෝ ප‍්‍රසිද්ධ ස්ථාන ඉලක්ක කරමින් කොටි ප‍්‍රහාරයක් එල්ල කරනු ඇති බවට ආරක්ෂක බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබේ.

දිනමිණ ඇසුරෙනි.

Comments

Popular posts from this blog

Pandorum (2009) TS HQ XviD-FUSiON

The Taking Of Pelham 123 DVDRip XviD-ARROW

Wrong Turn 3 Left for Dead 2009 STV DVDRip XviD-GFW